2026 වසරේ පළමු කාර්තුව තුළ රජයේ ප්‍රාථමික ගිණුමේ රුපියල් බිලියන ගණනක අතිරික්තයක් පවතින බවට රජය සහ මහ බැංකුව එක්ව සිදුකරන ප්‍රචාර සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ මහජනතාව නොමඟ යවන සුලු “තාක්ෂණික වචන හරඹයක්” පමණක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ, රාජ්‍ය ආර්ථිකයේ සැබෑ මූල්‍ය අර්බුදය වසන් කරමින් ආණ්ඩුව විසින් මෙලෙස වැදගැම්මකට නැති සංඛ්‍යා ලේඛන සමාජගත කරමින් සිටින බවයි.
ප්‍රාථමික අතිරික්තය යනු රජයක සම්පූර්ණ ආදායමෙන්, ලබාගත් ණය සඳහා ගෙවිය යුතු පොළිය හැර අනෙකුත් සියලු වියදම් අඩු කළ විට ඉතිරි වන මුදලයි. රට අතිශය දුෂ්කර තත්ත්වයක තිබූ 2023 වසරේදී පවා රුපියල් මිලියන 173,332ක සහ 2024 වසරේදී රුපියල් මිලියන 649,569ක ප්‍රාථමික අතිරික්තයක් පැවති බැවින්, මෙය ආර්ථිකයේ සැබෑ වර්ධනය පෙන්වන නිවැරදි දර්ශකයක් නොවන බව තෙන්නකෝන් මහතා අවධාරණය කරයි.
මානව හිමිකම් කේන්ද්‍රයේ දත්තවලට අනුව, 2026 පළමු කාර්තුවේ රජයේ ආදායම රුපියල් බිලියන 1473.8 කි. එහිදී පුනරාවර්තන වියදම රුපියල් බිලියන 688.9ක් සහ ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 103.2ක් වන අතර, එම වියදම් දෙකේ එකතුව රුපියල් බිලියන 792.1කි. ඒ අනුව කඩදාසි මත රුපියල් බිලියන 681.7ක ප්‍රාථමික අතිරික්තයක් පෙනෙන්නට තිබේ. එසේම පළමු කාර්තුවේ ප්‍රාග්ධන වියදම්වලින් වැය කර ඇත්තේ 7.5%ක් වැනි සුළු ප්‍රතිශතයක් වන අතර, සාමාන්‍යයෙන් රජයේ වියදම් ඉහළ යන්නේ වසරේ අවසන් කාර්තු තුනේදීය.
රජය විසින් මෙම ප්‍රාථමික අතිරික්තය පෙන්වන්නේ රටේ ණය සහ පොලී වගකීම් මඟහරිමිනි. මෙම පළමු කාර්තුව තුළ ණය පොලිය ලෙස රුපියල් බිලියන 593.2ක් සහ දේශීය හා විදේශීය රාජ්‍ය ණය ආපසු ගෙවීම් ලෙස රුපියල් බිලියන 694.7ක් පවතින අතර, ණය සහ පොලිය වෙනුවෙන් ගෙවිය යුතු මුළු එකතුව රුපියල් බිලියන 1,287.9කි. මේ අනුව, පළමු මාස 3 තුළ ප්‍රාථමික අතිරික්තය ධන අගයක් ගෙන ඇති බව සැබෑවක් වුවද, රටේ සැබෑ ණය සහ පොලී ගෙවීම් සිදුකළ පසු පළමු කාර්තුවේ සමස්ත අයවැය ඌණතාවය හෙවත් සැබෑ හිඟය රුපියල් බිලියන 606.2ක් බව පෙන්වා දෙන තෙන්නකෝන් මහතා, ආණ්ඩුවේ මවාපෑම්වලට නොරැවටී සැබෑ තත්ත්වය වටහා ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
















