ජාතික ජන බලවේගය රජය ඉතාමත් කෙටි කාලයක් තුළ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවක ගැටළු රැසකට විසඳුම් ලබා දීමට කටයුතු කළ බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි. බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පැවැති සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වන ජාතික සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
විශ්‍රාම වැටුප් ගැටළුව, වැටුප් අධිභාරය සහ වැටුප් කේත සම්බන්ධ ගැටළුවලට විසඳුම් දීම මෙන්ම ප්‍රශ්නගත සේවකයන් සම්බන්ධ විමර්ශන කඩිනම් කිරීම රජය මැදිහත් වී සිදුකළ ප්‍රධාන කාර්යයන් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගෙන රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය රැකෙන පරිදි කටයුතු කිරීමට වටපිටාව සකස් කර ඇති බව ද අවධාරණය කළේය.
ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්රයට විශාල සේවයක් කරන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු අයුරකින් විකිණීමට හෝ කොටස් කිරීමට රජයේ සූදානමක් නොමැති බවත්, එය තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බවත් හෙතෙම පැවසීය. එමෙන්ම සේවක උසස්වීම් පටිපාටිය මේ වසර තුළ අවසන් කිරීමට අධ්යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. මෙම අවස්ථාවට දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරීන් විශාල පිරිසක් එක්ව සිටියහ.















