ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති බයි යින්ෂාන් (BAI YINZHAN) මහතා ඇතුළු නියෝජිත පිරිසක් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී හමුවී සාකච්ඡා කළහ.
මෙම හමුවේදී චයිනා හාබර් සමාගමේ සභාපතිවරයා සඳහන් කළේ ජනාධිපතිවරයාගේ සෘජු සහ දැක්මක් සහිත නායකත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට තමන් තුළ දැඩි විශ්වාසයක් ඇති වී තිබෙන බවයි. වරාය නගර විශේෂ ආර්ථික කලාපය සඳහා ලබා දී ඇති දිරිගැන්වීම් අගය කළ ඒ මහතා, ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවරභාවයට පත්වීම ද ඇගයීමට ලක් කළේය.
රටේ ආර්ථික වර්ධනය සඳහා සෘජු විදේශ ආයෝජන (FDI) අත්‍යවශ්‍ය බව අවධාරණය කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බව ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා මත රජය ප්‍රතිපත්තිමය ස්ථාවරභාවයකට පැමිණ ඇති බවත්, එම ස්ථාවරභාවය තුළ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
තවද, දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී චයිනා හාබර් ඉංජිනේරු සමාගම ලබා දුන් සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
















