හතිය රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණි 59 හැවිරිදි කේ.ඒ. නන්දනී කලන්සූරිය මහත්මියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ ඥාතීන් රෝහල් පාලනාධිකාරියට බරපතල චෝදනා එල්ල කරයි.
මියගිය කාන්තාව වසර 20කට අධික කාලයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇති අතර, ඇයට ‘ඇමොක්සලීන්’ (Amoxicillin) ඖෂධය ආසාත්මික බව වෛද්‍යවරුන් විසින් 2005 වසරේදී නිර්දේශ කර තිබුණි. පසුගිය 5 වැනිදා රෝහල්ගත කර 10 වැනිදා නිවසට පිටත් කර හැරීමේදී, රෝහලෙන් ලබා දුන් ඖෂධ අතර කලින් ආසාත්මික බව හඳුනාගෙන තිබූ එම ‘ඇමොක්සලීන්’ ඖෂධය ද තිබූ බව ඥාතීන් පවසයි. නිවසේදී එම ඖෂධය ලබා ගැනීමෙන් පසු ඇය අසාධ්‍ය වී මියගොස් ඇත.
මේ පිළිබඳව විමසූ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහලට මෙතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, පැමිණිල්ලක් ලද වහාම විමර්ශනයක් ආරම්භ කරන බවත්ය. කෙසේ වෙතත්, පවුලේ ඥාතීන් පවසන්නේ තමන් මේ පිළිබඳව රෝහල් පොලිසියට සහ පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි.
මහනුවර ජාතික රෝහලේදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා ඇයගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබේ. රස පරීක්ෂක වාර්තාව ලැබීමෙන් පසු මරණයට සැබෑ හේතුව තීරණය කෙරෙනු ඇත.
















