ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා සතියකට පමණක් සීමා නොවූ දීර්ඝකාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය. ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව කොට්ටාව ප්‍රදේශයේ පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
කොළඹ දිස්ත්‍රික්කය සහ විශේෂයෙන්ම මහරගම ප්‍රදේශය ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවත්, පාසල්, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළු පොදු ස්ථානවල මෙම අවදානම ඉහළ මට්ටමක පවතින බවත් ඇය පෙන්වා දුන්නාය. පසුගිය වසර එකහමාරක කාලය තුළ රට මුහුණ දුන් අභියෝග සාර්ථකව ජය ගත්තාක් මෙන්ම, ඩෙංගු උවදුර ද ජාතික වගකීමක් ලෙස සලකා සාමූහිකව ජයගත යුතු බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියාය.
මෙම අවස්ථාවට එක්වෙමින් මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා, ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වූ පොලීසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය රාජ්‍ය ආයතන සහ ප්‍රජා සංවිධාන වෙත සිය කෘතඥතාව පිරිනැමීය.
මෙම වැඩසටහන සඳහා ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
















