දිවයින පුරා උප තැපැල් කාර්යාලවල සේවා කටයුතු වඩාත් විධිමත් කිරීම සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින්, දීර්ඝ කාලයක් වැඩබලන පදනම මත සේවය කළ උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථීර රාජ්‍ය පත්වීම් ලබා දීමට රජය තීරණය කර ඇත.
2019 වසරේ සිට විවිධ දුෂ්කරතා මධ්‍යයේ සේවය කළ මෙම නිලධාරීන් ස්ථීර කිරීම සඳහා වත්මන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත විශේෂ සංදේශයක් ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව 2020 ඔක්තෝබර් 15 දිනට පෙර සිට වැඩ බැලූ සුදුසුකම් සපුරාලූ නිලධාරීන් 192 දෙනෙකුට මෙලෙස විශ්‍රාම වැටුප් හිමි ස්ථීර රාජ්‍ය තනතුරු පිරිනැමේ.
මීට අමතරව, උප තැපැල් කාර්යාල සඳහා ගොඩනැගිලි කුලී සහ නඩත්තු දීමනාව සම්බන්ධයෙන් ද රජය සුවිශේෂී තීරණයක් ගෙන ඇත. මීට පෙර රජයෙන් මාසිකව ගෙවනු ලැබූ රුපියල් 1500ක සුළු දීමනාව, 2025 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 7500ක් දක්වා විශාල ලෙස ඉහළ නැංවීමට ද පියවර ගෙන තිබේ.
















