රොබින් හුඩ් (Robin Hood) පුරාවෘත්තයට සෘජුවම සම්බන්ධ, බ්‍රිතාන්‍යයේ ෂර්වුඩ් වනාන්තරයේ පිහිටි වසර 1,200ක් පැරණි සුප්‍රසිද්ධ ‘මේජර් ඕක්’ (Major Oak) වෘක්ෂය මියගොස් ඇති බව බ්‍රිතාන්‍යයේ පක්ෂි ආරක්ෂණය පිළිබඳ රාජකීය සංගමය (RSPB) නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙවර වසන්ත සෘතුවේදී එම දැවැන්ත වෘක්ෂයෙහි අලුතින් කිසිදු පත්‍රයක් හට නොගැනීම හේතුවෙන් විද්‍යාඥයන් විසින් මෙම නිගමනයට එළඹ ඇත.
මීටර් 28ක අතු පතර විහිදීමකින් සහ මීටර් 11ක කඳෙහි වටප්‍රමාණයකින් යුක්ත වූ මෙම මේජර් ඕක් වෘක්ෂය බ්‍රිතාන්‍යයේ පැවති විශාලතම සහ පැරණිතම ගස්වලින් එකකි. වසර සිය ගණනක් තිස්සේ පැමිණි මිලියන සංඛ්‍යාත සංචාරකයන් නිසා ගස අවට පස දැඩි ලෙස තදවීම, පසුගිය කාලසීමාව තුළ බ්‍රිතාන්‍යයට බලපෑ දැඩි උණුසුම් කාලගුණය සහ නියඟ සහිත ගිම්හාන සෘතු 5ක් මෙම වෘක්ෂයේ විනාශයට ප්‍රධානතම හේතු වී ඇති බව පරිසර විද්‍යාඥයෝ පෙන්වා දෙති.
වෘක්ෂය මේ වන විට මියගොස් තිබුණද, එය ඉදිරියටත් ස්වභාවික ස්මාරකයක් ලෙස ෂර්වුඩ් වනාන්තරය මධ්‍යයේ එලෙසම රඳවා තැබීමට RSPB සංගමය තීරණය කර ඇත. මීට පෙර මෙම ගසෙන් ලබාගත් බීජ සහ අතු කැබලි මඟින් බෝ කරගන්නා ලද පැළ මේ වන විට ඇමරිකානු තානාපති නිල නිවස ඇතුළු ලොව පුරා විවිධ ස්ථානවල සාර්ථකව රෝපණය කර තිබේ.
















