පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කළ රිට් පෙත්සම අද (18) අභියාචනාධිකරණය හමුවේ යළි සලකාබැලුණු අතර එහි වැඩිදුර සලකාබැලීම ජුනි 24 වැනිදා දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ කිසිදු සාධාරණ පදනමකින් තොරව හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් පනවා ඇති බවත්, ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගතහොත් ඇප නිදහස අහිමි වන බවත්ය. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනක් ද සිල්වා කොමිෂන් සභා වාර්තාවේ කිසිදු තැනක ගෝඨාභය රාජපක්ෂ ගැන සඳහන් නොවන බව පෙන්වා දුන් ඔහු, වත්මන් විමර්ශන මෙහෙයවන ශානි අබේසේකර සහ රවී සෙනවිරත්නට එරෙහිව ජයකී ද අල්විස් කොමිසම මඟින් නඩු පැවරීමට නිර්දේශ කර තිබූ බව ද සඳහන් කළේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ලේ නීතිඥවරයා නීතිපති දෙපාර්තමේන්තුව අපකීර්තියට පත් කිරීමට හුදෙක් මාධ්‍ය ඉලක්ක කරගනිමින් ප්‍රකාශ සිදුකරන බවයි. කෙසේ වෙතත්, තමන් නීතිපතිවරයාට චෝදනා නොකරන බවත් පවතින තත්ත්වය පමණක් පෙන්වා දුන් බවත් ජනාධිපති නීතිඥවරයා මෙහිදී ප්‍රතිචාර දක්වමින් පැවසීය.
















