ශ්‍රී ලංකාවේ වෙරළබඩ කලාපයේ සමුද්‍රීය නිරීක්ෂණ කටයුතු සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අරමුණින් ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය සහ ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව දියත් කරන ‘දිසි රැළ’ ඒකාබද්ධ සමුද්‍රීය ආරක්ෂණ වැඩසටහන එහි අඛණ්ඩ තෙවන වසර සනිටුහන් කරමින් මේ වසරේදීත් ආරම්භ කර තිබේ. පසුගිය වසරවල බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ‘දිසි රැළ 2026’ හරහා මෙවර නැගෙනහිර පළාත දක්වා ව්‍යාප්ත කිරීමට පියවර ගෙන ඇත. මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අනවසර මසුන් ඇල්ලීම ඇතුළු නීතිවිරෝධී සමුද්‍රීය අපරාධ වැළැක්වීම සඳහා රටවල් ද්විත්වයම මෙහිදී එක්ව කටයුතු කරයි.
මෙම ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ සමුද්‍රීය ආරක්ෂක කටයුතු වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය පසුගිය වසර තුන පුරා නිරීක්ෂණ ඩ්‍රෝන යානා 24ක්, විශේෂ ATVs රථ 3ක්, මුර සංචාරක යාත්‍රාවක් සහ 106 විශේෂ හදිසි ඇමතුම් අංකය ද හඳුන්වා දී තිබේ. මීට අමතරව ‘දිසි රැළ 2026’ යටතේ වෙරළබඩ නිරීක්ෂණ කටයුතු තවදුරටත් සවිමත් කිරීම සඳහා තවත් විශේෂ ATVs රථ 5ක් අතිරේකව පිරිනැමීමට ද ඕස්ට්‍රේලියාව සූදානම් වේ. කලාපීය සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා දෙරට අතර පවතින මෙම දිගුකාලීන සහයෝගීතාව සහ මහජන ප්‍රජා දායකත්වය අතිශයින්ම වැදගත් වන බව ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්, රියර් අද්මිරාල් රොහාන් ජෝසප් මහතා සහ ඕස්ට්‍රේලියානු රියර් අද්මිරාල් බ්‍රෙට් සොන්ටර් මහතා අවධාරණය කරති.
















