පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ජීවිත සුරක්ෂිතතාව සුරැකීම රජයේ සහ ආචාර්ය මණ්ඩලයේ පමණක් නොව, සමස්ත රටේම ජනතාවගේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. මහව, වලස්වැව ගුණපාල මලලසේකර ආදර්ශ විද්‍යාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට අද (18) එක්වෙමින් ඇය අවධාරණය කළේ 2026 වසර වන විට මූලික අවශ්‍යතා නොමැති පාසල් මෙරට නොතිබිය යුතු බවත්, ඒ වෙනුවෙන් රජය කඩිනමින් මැදිහත් වන බවත්ය. පාසල දියුණු කිරීම සඳහා ප්‍රදේශවාසීන් සහ පාසල් හිතවතුන් දක්වන කැපවීම ද මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ ඇගයීමට ලක්විය.
දරුවන් දක්ෂ හෝ අදක්ෂ ලෙස වර්ගීකරණය කළ නොහැකි බවත්, සෑම දරුවෙකුටම පවතින සුවිශේෂී හැකියාවන් හඳුනාගෙන ඔවුන්ව ඉහළට ඔසවා තැබීම අධ්‍යාපන පද්ධතියේ ප්‍රධාන වගකීමක් බවත් අගමැතිනිය මෙහිදී පෙන්වා දුන්නාය. රජය සිදුකරන සියලු ආයෝජනවල අවසාන අරමුණ වන්නේ ප්‍රායෝගිකව සිතන, නිර්මාණශීලී සහ ශක්තිමත් පුරවැසියන් බිහිකිරීම බව පැවසූ ඇය, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා ලෝකයේ විවෘත වන නව ක්ෂේත්‍ර ජයග්‍රහණය කිරීමට මෙරට දරුවන්ට අවස්ථාව සලසා දෙන බව ද වැඩිදුරටත් අවධාරණය කළාය.
















