වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද (01) සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබියදී, ඊට පෙරදින ඩීසල් මිල අඩු කරමින් රජය බස් හිමියන්ට විශාල වංචාවක් සිදුකර ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
බස් ගාස්තු පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට අනුව ජූලි 01 වැනිදා සිට සියයට 20ක බස් ගාස්තු වැඩිවීමක් බස් හිමියන් අපේක්ෂා කළද, ආණ්ඩුවේ මෙම හදිසි මිල සංශෝධනය හේතුවෙන් දැන් බස් ගාස්තු වැඩිවීම සියයට 15ක් හෝ සියයට 17ක් දක්වා සීමා වනු ඇති බව ඔහු පෙන්වා දෙයි.
මෙලෙස දිගින් දිගටම කටයුතු කරන්නේ නම් සහ ජාතික ප්‍රතිපත්තියට අනුව තමන්ට ප්‍රමාණවත් ගාස්තු වැඩිවීමක් නොලැබුණොත්, ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග හරහා හෝ අදාළ ජාතික ප්‍රතිපත්තියෙන් ඉවත් වීමට කටයුතු කරන බව ද ගැමුණු විජේරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේය.














