බදු සම්බන්ධයෙන් මහජනතාව තුළ පවතින ඍණාත්මක ආකල්ප වෙනස් කර, බදු ගෙවීම රටේ සංවර්ධනයට සහ සුබසාධනයට සෘජුවම දායක වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ‘ජාතික බදු සතිය’ (බදු ශක්ති 2026) ලබන ජූලි 06 වැනිදා සිට 10 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ආදායම් පරිපාලන, ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව මෙම වැඩසටහන සංවිධානය කරයි. මෙම සතියට අදාළ සමාරම්භක උත්සවය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු වන්නේ බදුකරණය පිළිබඳ පවතින ඍණාත්මක ආකල්ප ධනාත්මක ආකල්ප බවට පරිවර්තනය කිරීම, ස්වේච්ඡාවෙන් බදු ගෙවන සංස්කෘතියක් රට තුළ නිර්මාණය කිරීම, බදු පදනම පුළුල් කිරීම මගින් එක් පුද්ගලයෙකු මත පටවා ඇති බදු බර අවම කිරීම සහ අපේක්ෂිත බදු ඉලක්ක සපුරා ගනිමින් රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ක්‍රියාවලිය තහවුරු කිරීමයි.
සතිය තුළ ක්‍රියාත්මක වන වැඩසටහන් අතර නිල සමාරම්භක උත්සවය, දිවයින පුරා පිහිටි ආදායම් කාර්යාල හරහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන්, බදු ගෙවන්නන් සඳහා විශේෂ සම්මන්ත්‍රණ පැවැත්වීම සහ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගනිමින් බදු අනුකූලතාව පිළිබඳ වැඩසටහන් ඇතුළත් වේ. තවද, ජූලි 11 සහ 12 දිනවලදී මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ අදාළ දෙපාර්තමේන්තු ප්‍රධානීන් සඳහන් කළේ, අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුවද ජනතාවගේ බදු දායකත්වය අගය කරන බවත්, රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු හරහා නවීන පරිගණක පද්ධති භාවිතයෙන් බදු අය කිරීමේ ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ විධිමත් කර ඇති බවත්ය.
















