බෙල්ජියම සහ ලක්සම්බර්ග් සමඟ පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, බෙල්ගොලක්ස් – ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය (BLSBC) සහ ලංකා වාණිජ මණ්ඩලය අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් තබා තිබේ.
බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ බෙල්ගොලක්ස් – ශ්‍රී ලංකා ව්‍යාපාරික මණ්ඩලය එක්ව සංවිධානය කළ බෙල්ජියම් – ලක්සම්බර්ග් (BELGOLUX) ආර්ථික දූත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව මෙම ගිවිසුම අත්සන් කෙරිණි. මෙම සංචාරය දෙරට අතර ආර්ථික සහයෝගිතාවේ නව සන්ධිස්ථානයක් ලෙස සැලකෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම දූත පිරිසට බෙල්ජියම සහ ලක්සම්බර්ග් යන රටවල තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, බලශක්තිය, නිෂ්පාදන, මූල්‍ය සේවා, ආහාර සහ පාන වර්ග මෙන්ම උපදේශන යන ක්ෂේත්‍ර නියෝජනය කරන සමාගම් 19ක් අයත් විය. මීට අමතරව ලක්සම්බර්ග් කොටස් වෙළෙඳපොළ සහ බෙල්ජියම් අපනයන හා විදේශ ආයෝජන නියෝජිතායතනයේ නිලධාරීහු ද මෙම සංචාරයට එක්ව සිටියහ.
කොළඹ හිල්ටන් රෙසිඩන්සිස්හි පැවති ව්‍යාපාරික සංසදයේදී අත්සන් තැබූ මෙම අවබෝධතා ගිවිසුම හරහා දෙරට අතර ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ අනාගත වාණිජ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. තවද, කොළඹ වරාය නගරයේදී පැවති ‘බෙල්ගොලක්ස් ආර්ථික සංසදය’ තුළින් තිරසර වර්ධනයක් සඳහා පවතින වෙළෙඳ සහ ආයෝජන අවස්ථා පිළිබඳව ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශ්වයටම හැකි විය.
මෙම දූත පිරිස කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිහිටි United Tobacco Processing (UTP) කර්මාන්තශාලාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ. මෙය 1987 වසරේ සිට ශ්‍රී ලංකාවේ සාර්ථකව ක්‍රියාත්මක වන බෙල්ජියම් ආයෝජනයක් වන අතර, එය දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතාවට කදිම නිදසුනක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.
















