පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සංඝාරාමයේ උපශාලාධිපති කහගල සාරානන්ද හාමුදුරුවන්ගෙන් පළිගත් කථාවේ කොටස් පහක් අප මීට පෙර ගෙන ආ අතර අද ගෙන එන්නේ එහි 6 වන කොටස හෙවත් අවසන් කොටසය.
මෙහි කියැවෙන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය 1947 ජනවාරි 23 වන දින පිහිටුවා ගෙන තිබෙන්නක් වන අතර එහි ආරම්භක සභාපතිවරයා වූයේ භාරයේ නිර්මාතෘ සහ මුල් දේපළ හිමිකරු වූ ඩී.ආර්. විජයවර්ධන මහතාය. මෙම භාරයේ ආරම්භක සාමාජිකයන් පස්දෙනෙකුගෙන් යුක්ත වූ අතර අනෙකුත් සාමාජිකයන් වූයේ හේම හෙන්රි බස්නායක, පී.බී. ප්‍රනාන්දු, පී.ඩී. රණතුංග සහ එල්.ජේ. සෙනෙවිරත්න යන අයය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඝාරාම විහාර භාරකාර මණ්ඩලයේ වර්තමාන සභාපතිවරයා රංජිත් විජයවර්ධන මහතා වන අතර සාමාජිකයන් වශයෙන් වරුණ බස්නායක, පී. ගැමුණු කේ. ප්‍රනාන්දු, පී. තිස්ස රණතුංග සහ එල්. චන්ද්‍රා සෙනෙවිරත්න කටයුතු කරයි. මෙම භාරයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන්නේ ඩබ්.එම්.එම්.ආර්. පී.බී. වේරකේ මහතාය. මෙම භාරයේ නිසි අවසරය නොමැතිව මෙම භූමියේ හෝ එහි ඇති නිශ්චල දේපළවල කිසිදු සංවර්ධන කාර්යයක් සිදුකිරීමේ නෛතික හැකියාවක් වෙනත් පාර්ශවයකට නැත.
මෙම කොස් දැව ප්‍රශ්නය පිළිබඳව විමර්ශනය කළ ඒකනායක කමිටුව විසින් වෙනත් බරපතල කාරණා තබා අවම තරමින් මෙම භූමියේ නෛතික හිමිකාරීත්වය පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තිබේද යන්නවත් සොයා බලා නැත. එෆ්.ජේ. ඇන්ඩ් ජී.ඩී. සේරම් ප්‍රසිද්ධ නොතාරිස්වරුන් විසින් සකස් කර ජේ.ඒ. මාර්ටිනස් ප්‍රසිද්ධ නොතාරිස් විසින් 1947 ජනවාරි මස 23 වැනි දින අත්සන් කර සහතික කරන ලද අංක 2879 දරණ ප්‍රතිඥාපත්‍රය මගින් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංඝාරාම විහාර භාරකාර මණ්ඩලය පිහිටුවා තිබේ. මෙකී ප්‍රතිඥාපත්‍රයේ භාරය ක්‍රියාත්මක විය යුතු ආකාරය, එහි භාරකරුවන්, දේපළ අරමුදල් යෙදවීම ආදී සියළු කරුණු අන්තර්ගතය. විශ්වවිද්‍යාල බලධාරීන්ට කියවා ගැනීමට අවශ්‍ය වේ නම් එම ප්‍රතිඥා පත්‍රයේ පිටපතක් අපට සැපයිය හැකිය.
ඒ අනුව කහගල සාරානන්ද හිමියන්ගෙන් පළිගැනීම සඳහා ආරම්භ කළාවූ ක්‍රියාදාමය අවසානයේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයටම පාරාවලල්ලක් වී තිබෙන අයුරු පෙනෙන්නට තිබේ. ඉතින් නම් පේරාදෙණියේ බලධාරීන් දැන් කළ යුත්තේ සාරානන්ද හිමියන් පසුපස තවදුරටත් හඹා යාම නොව, පසුපසට හැරී තමන්ගේම වල්ගය තදින් හපා ගැනීමෙන් කේන්තිය නිවා ගැනීමය.
















