නෝර්ෆොක් ෆුඩ්ස් (Norfolk Foods) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂිකා අමීනා සියාඋද්දීන් මහත්මිය, ලංකා වාණිජ මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය සමඟ ව්‍යාපාරික කවුන්සිලයේ (Council for Business with Britain – CBB) 2026-2027 වසර සඳහා නව සභාපතිනිය ලෙස තේරී පත්වී තිබේ. කොළඹ වෙස්ට්මිනිස්ටර් හවුස්හිදී පැවති එම කවුන්සිලයේ 26 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදී මෙම පත්වීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
එහිදී KPMG ශ්‍රී ලංකා ආයතනයේ ගනුදෙනු උපදේශක ප්‍රධානී ශිලුක ගුණවර්ධන මහතා ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසත්, LSEG හි ප්‍රධාන මූල්‍ය නිලධාරී ෆාදිල් ජිෆ්රි මහතා උප සභාපති ලෙසත්, We Are Team Rocket සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ක්‍රිස්ටල් රීඩ් විජේසූරිය මහත්මිය භාණ්ඩාගාරික ලෙසත් තේරී පත් විය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් මහතා මෙම රැස්වීමේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා එක්සත් රාජධානිය ලබා දෙන සහයෝගය තහවුරු කළ අතර, ශ්‍රී ලාංකික අපනයනකරුවන්ට බදු රහිතව බ්‍රිතාන්‍ය වෙළඳපොළට පිවිසීමට අවස්ථාව සලසන ‘සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන වෙළඳ ක්‍රමය’ (DCTS) උපරිමයෙන් ප්‍රයෝජනයට ගන්නා ලෙස දේශීය ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.
නව සභාපතිනිය ලෙස අමීනා සියාඋද්දීන් මහත්මිය සඳහන් කළේ, ව්‍යාපාරික සහයෝගීතාව සඳහා කවුන්සිලය සතු වේදිකාව තවදුරටත් ශක්තිමත් කරන බවත්, තරුණ වෘත්තිකයන් සහ ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා ස්ථාපිත කර ඇති ‘NextGen’ කමිටුව වැනි මුලපිරීම් ඉදිරියටත් පවත්වාගෙන යන බවත්ය.
















