දකුණු අප්‍රිකාව පුරා පසුගිය අඟහරුවාදා (ජූනි 30) පැවති සංක්‍රමණික විරෝධී විරෝධතා අතරතුර පුද්ගලයන් 900කට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට එරට පොලිසිය පියවර ගෙන තිබේ. මෙම විරෝධතා බොහෝ දුරට සාමකාමීව පැවතිය ද, ඇතැම් ස්ථානවලදී ප්‍රචණ්ඩකාරී සිදුවීම් සහ දේපළ කොල්ලකෑම් වාර්තා වූ බව පොලිසිය පවසයි.
පැවති විරෝධතා පාගමන් 120න් 108ක්ම සාමකාමීව අවසන් වූ නමුත්, ඉතිරි පාගමන් 12 සඳහා පොලිස් මැදිහත්වීම අවශ්‍ය වූ බව නියෝජ්‍ය පොලිස් කොමසාරිස් ටෙබෙලෝ මොසිකිලි මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීම්, මහජන ප්‍රචණ්ඩත්වය, ලේඛන නොමැති සංක්‍රමණිකයන්ට රැකවරණය ලබා දීම සහ කොල්ලකෑම් ඇතුළු චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
ජොහැන්නස්බර්ග් නුවර ඇලෙක්සැන්ඩ්‍රා ප්‍රදේශයේදී විදේශිකයන්ට අයත් කුඩා වෙළඳසැල් කොල්ලකෑමේ සිදුවීම් අතරතුර පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි. තවද, ජොහැන්නස්බර්ග් හි හිල්බ්‍රෝ ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලැබීම හේතුවෙන් එම ප්‍රදේශයට හමුදා සාමාජිකයන් ද යොදවා තිබේ. ඊට අමතරව, ඩර්බන් නුවරදී විරෝධතා ආරම්භ වීමට පෙර තමන්ට ප්‍රහාර එල්ල වෙතැයි බියෙන් ගොඩනැගිල්ලක අටවැනි මහලෙන් පැන විදේශිකයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන්ද පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
මෙම විරෝධතා පාගමන් සංවිධානය කර තිබුණේ ලේඛන නොමැති සංක්‍රමණිකයන් දකුණු අප්‍රිකාවෙන් පිටව යා යුතු බවට සංක්‍රමණික විරෝධී කණ්ඩායම් විසින් පනවා තිබූ “අවසාන දින නියමය” (deadline) සනිටුහන් කිරීම සඳහායි. මෑත කාලයේ මෙම ගැටුම් හේතුවෙන් විදේශිකයන් තම නිවෙස්වලින් පලවා හැරීම සහ ඔවුන්ගේ ව්‍යාපාර හා දේපළ විනාශ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි විවේචනයක් එල්ල වී තිබේ.
















