මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය සහ දේශපාලන අර්බුද මධ්‍යයේ වුවද, මෙරට දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ශක්තිමත් මට්ටමකට ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි. මෙය මාස 3 ½ ක ආනයන කටයුතු සඳහා ප්‍රමාණවත් ආරක්ෂිත මට්ටමකි.
2026 වසරේ මුල් මාස පහ තුළ විදේශ ප්‍රේෂණ 26%කින් වර්ධනය වී ඇති අතර, එම කාලය තුළ විදේශයන්හි සිටින ශ්‍රමිකයන් එවූ සමුච්ඡිත මුදල ඩොලර් බිලියන 3.9ක් දක්වා ඉහළ ගොස් තිබේ. පසුගිය මැයි මාසයේදී පමණක් ලැබී ඇති විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 847කි. මීට අමතරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකම යටතේ 6 වැනි සහ 7 වැනි වාරික සාර්ථකව හිමිකර ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්ව ඇත.
මැදපෙරදිග අර්බුදය නිසා ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑම හේතුවෙන් මැයි මාසයේදී මෙරට ඉන්ධන ආනයන වියදම 112%කින් ඉහළ ගියද, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව සැපයීමට රජය පියවර ගෙන තිබේ. එමෙන්ම, වසරේ මුල් මාස පහ තුළ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව මිලියනය ඉක්මවා යෑම ද ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට විශාල දායකත්වයක් සපයා ඇති බව මහ බැංකු වාර්තා තහවුරු කරයි.














