මෙරට තුළ ඩෙංගු රෝග ව්‍යාප්තිය අධි වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙමින් පවතින බවත්, ජනතාව සක්‍රියව මර්දන කටයුතුවලට දායක නොවුණහොත් රෝහල් පද්ධතියේ ධාරිතාව ඉක්මවා ගොස් මරණ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) අනතුරු අඟවයි. වත්මන් තත්ත්වය පිළිබඳව පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී වෛද්‍යවරුන් මේ බව අනාවරණය කළේය.
මෙහිදී අදහස් දැක්වූ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දුන්නේ, මේ වන විට වාර්තා වී ඇති ඩෙංගු මරණ 31න් 25ක්ම කාන්තාවන් බවයි. ඉන් 22 දෙනෙකුම මැදිවියේ පසුවන කාන්තාවන් වන අතර, ඔවුන් නිවසේ වැඩකටයුතු හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමුවීමට ප්‍රමාද වීම මෙයට ප්‍රධාන හේතුවක් විය හැකි බවට සැක කෙරේ. දියවැඩියාව වැනි බෝ නොවන රෝග ඇති අය ඩෙංගු වැලඳීමෙන් වැඩි සංකූලතාවලට ලක්විය හැකි බැවින් උණ වැලඳුණු සැනින් ප්‍රතිකාර ලබාගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ, බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වලින් වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවයි. කොළඹ, ගම්පහ, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, රත්නපුර, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මඩකලපුව සහ පුත්තලම අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හඳුනාගෙන තිබේ.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නලීන් සී. කිතුල්වත්ත මහතා මෙහිදී දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන්ට උණ පවතින අවස්ථාවලදී විභාග හෝ වෙනත් උත්සව පවසමින් පාසල් නොයවා ඇඳ විවේකය ලබාදෙන ලෙසයි. උණ දින දෙකක් පවතින්නේ නම් Full Blood Count (FBC) පරීක්ෂණයක් කරගත යුතු බවත්, ඩෙංගු රෝගයේදී උණ බහින අවස්ථාවේදී සංකූලතා වැඩි විය හැකි බැවින් ඒ පිළිබඳව දැඩිව විමසිලිමත් විය යුතු බවත් ඔහු වැඩිදුරටත් මතක් කර දුන්නේය.














