කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පිහිටි ප්‍රධාන පෙළේ පුද්ගලික රෝහල් කිහිපයක්, එහි සේවය කරන වෛද්‍යවරුන්ගේ පැමිණීම සහ පිටවීම සලකුණු කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර (Fingerprint Machines) භාවිතය අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ. මේ අනුව වෛද්‍යවරුන් සේවා මුර සඳහා වාර්තා කිරීමේදී සහ සේවය නිමවා පිටවීමේදී ඇඟිලි සලකුණු තැබීම අනිවාර්ය වේ.
පුද්ගලික රෝහල්වල හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සේවකයන් සඳහා මෙම ක්‍රමය මීට පෙර සිටම ක්‍රියාත්මක වූ අතර, එය වෛද්‍යවරුන් සඳහා ද ව්‍යාප්ත කිරීමට රෝහල් පාලනාධිකාරීන් තීරණය කර ඇත.
කෙසේ වෙතත්, මෙම නව තීරණය සම්බන්ධයෙන් පුද්ගලික අංශයේ සේවය කරන වෛද්‍යවරුන් සිය අප්‍රසාදය පළ කරති. විශේෂයෙන්ම සාමාන්‍ය වෛද්‍යවරුන් (General Practitioners) සඳහා පුද්ගලික රෝහල් මඟින් ගෙවනු ලබන දීමනා ප්‍රතිශතය ඉතා අඩු මට්ටමක පවතින පසුබිමක, මෙවැනි දැඩි නීති රීති පැනවීම නිසා තමන් දැඩි වෘත්තීය දුෂ්කරතාවන්ට පත්වන බව ඔවුහු පෙන්වා දෙති.
දැනට මෙරට පුද්ගලික රෝහල් පද්ධතිය තුළ බහුලව සේවය කරනු ලබන්නේ පෞද්ගලික හෝ විදේශීය වෛද්‍ය පීඨවලින් සුදුසුකම් ලැබූ වෛද්‍යවරුන් වන අතර, රජයේ රෝහල්වල සේවය කරන වෛද්‍යවරුන් ද සිය අමතර රාජකාරියක් ලෙස (Part-time) සේවා මුර ක්‍රමය යටතේ මෙලෙස පුද්ගලික රෝහල්වල සේවය කරති.














