සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් තීරණය කිරීමේදී කලක් තිස්සේ පවතින ශාස්ත්‍රීය මතභේද සහ ගැටලුවලට ස්ථිර විසඳුමක් සෙවීම සඳහා ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්ගේ සහභාගිත්වයෙන් දීර්ඝ ජාතික සංවාදයක් පැවැත්වීමට පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසයි.
ජාතික නැකත් කමිටුව පිහිටුවීමට ප්‍රථම, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ ගැඹුරු සහ මධ්‍යස්ථ සාකච්ඡාවකට අවස්ථාව ලබාදෙන ලෙස විද්වතුන් පිරිසක් කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඇමැතිවරයා ඊයේ (01) අමාත්‍යාංශයේදී මේ බව ප්‍රකාශ කළේය.
ඉදිරියේදී පිහිටුවීමට නියමිත ජාතික නැකත් කමිටුවට මේ දීර්ඝ සංවාදයෙන් ලැබෙන ශාස්ත්‍රීය ආලෝකය විශාල පිටිවහලක් වන බවත්, ඒ සඳහා ඕනෑ තරම් ඉඩකඩ සලසාදීමට රජය සූදානම් බවත් ඇමැතිවරයා කීය. මෙම පියවරත් සමඟ ඉදිරියේදී මෙරට සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සකස් කිරීම උදෙසා වූ නිශ්චිත ජාතික මාර්ගෝපදේශ මාලාවක් (National Guidelines) සකස් කිරීමට මඟ පෑදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.














