ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් පසුගිය ජූනි 24 සිට 30 දක්වා මෙරට සිදුකළ නිල සංචාරය නිමා කරමින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම අත්‍යවශ්‍ය බවයි.
එවන් පපාජෝජියෝ (Evan Papageorgiou) මහතාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ සහ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා ඇත. මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ලංකාවේ උද්ධමනය මැයි මාසය වන විට 5.5%ක් දක්වා ඉහළ ගිය බවත්, සංචාරක පැමිණීම් මන්දගාමී වී විදේශ සංචිත එකතු වීමේ වේගය බිඳ වැටුණු බවත් එහිදී අනාවරණය විය.
ආර්ථික ස්ථායීතාව වෙනුවෙන් 2027 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක ප්‍රාථමික ශේෂ ඉලක්කය වෙත ළඟා වීමට රජය කැපවිය යුතු බව පෙන්වා දෙන IMF ආයතනය, බදු අනුකූලතාව වැඩිදියුණු කිරීම, බදු පදනම පුළුල් කිරීම, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ වේගවත් කිරීම සහ පිරිවැය ආවරණය වන පරිදි බලශක්ති මිලකරණය පවත්වාගෙන යාම වැදගත් බව අවධාරණය කරයි. එමෙන්ම, ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු යළි ගොඩනැංවීම් සඳහා ආපදා ආධාර වියදම් කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගත යුතු බව ද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.














