6 වැනි ශ්‍රී ලංකා – පාකිස්තාන ආරක්ෂක සංවාදයට සහභාගී වීම සඳහා පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ලුතිනන් ජෙනරාල් මුහම්මද් අලි (Muhammad Ali) මහතා නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණියේය. ඊයේ (01) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණි ඒ මහතා ඇතුළු දූත පිරිසව ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.
මෙම 6 වැනි ද්විපාර්ශ්වික ආරක්ෂක සංවාදය හෙට (03) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නාවික හමුදා මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය. කලාපීය ආරක්ෂාව, ආරක්ෂක සහයෝගීතාව, පුහුණු කටයුතු සහ දෙරට අතර පවතින දිගුකාලීන ආරක්ෂක හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංවාදයේ ප්‍රධාන අරමුණයි.
සිය සංචාරය අතරතුර ලුතිනන් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් අලි මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සහ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතව ඇත.














