වසර ගණනාවක් තිස්සේ අතහැර දමා තිබූ මාතර නාවිමන දකුණු ආසියානු සංස්කෘතික මධ්‍යස්ථානය, ජාත්‍යන්තර මට්ටමේ සාගර විශ්වවිද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සහ සාගර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය නලින් රත්නායක මහතා ඇතුළු පිරිසක් ඊයේ (02) එම පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූහ. 1998 සාර්ක් සමුළුවේ තීරණයකට අනුව ආරම්භ කර 2008 දී ඉදිකිරීම් ඇරඹූ මෙම ව්‍යාපෘතිය 2015 වසරේ සිට මේ දක්වා නතර වී පැවති අතර, මේ වන විට එම ගොඩනැගිලි දැඩි ලෙස හානියට පත්ව ඇත.
ශ්‍රී ලංකාව සාගරයෙන් වටවූ රටක් ලෙස සාගර ආශ්‍රිත අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණුව ඉහළ නැංවීම රජයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි. ඒ අනුව, අක්‍රියව පවතින මෙම පරිශ්‍රය ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස යළි ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.














