එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සමාරම්භක සභාවාරයේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්වරයා ඉදිරිපත් කළ ලිඛිත යාවත්කාලීන කිරීම පිළිගන්නා බවත්, එමඟින් පෙන්වා දී ඇති දෙමළ ජනතාවගේ මූලික ගැටලු සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් ඉලංගෙයි තමිල් අරසු කච්චි (ITAK) පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම, අතුරුදන්වූවන්ගේ ගැටලුව, ඉඩම් නිදහස් කිරීම සහ කල්දමා ඇති පළාත් සභා මැතිවරණය පිළිබඳ මහකොමසාරිස්වරයා දක්වා ඇති කනගාටුව තමන් ද අනුමත කරන බව එම පක්ෂය සඳහන් කරයි. අල්ලස්, දූෂණය සහ මත්ද්‍රව්‍ය මර්දනයට රජය ගන්නා පියවර ඇගයීමට ලක්කරන ITAK පක්ෂය, වත්මන් රජය බලයට පත්වී වසර දෙකක් ගතවීත් දෙමළ ජනතාවගේ ගැටලුවලට අර්ථවත් විසඳුම් ලබා දී නැති බවට චෝදනා කරයි. ඒ අනුව, දෙමළ ජනතාවගේ ඓතිහාසික අභිලාෂයන් ඉටුවන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට දුන් පොරොන්දු ඉටුකරන ලෙස ප්‍රධාන ලේකම් එම්. ඒ. සුමන්තිරන් මහතාගේ අත්සනින් නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.















