ඉරාන යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල ගණන් ඉහළ යාම නිසා ඉන්දියාව තුළ විදුලි, දෙමුහුන් (Hybrid) සහ සම්පීඩිත ස්වාභාවික වායු (CNG) බලයෙන් ක්‍රියාත්මක වන වාහන සඳහා පවතින ඉල්ලුම වේගයෙන් ඉහළ ගොස් ඇත.
ඉන්දීය ස්වයංක්‍රීය වාහන අලෙවිකරුවන්ගේ සම්මේලනය (FADA) පවසන පරිදි, ජූනි මාසයේදී මගී වාහන සිල්ලර අලෙවියෙන් 40.35%ක්ම විකල්ප ඉන්ධන වාහන විසින් අත්පත් කරගෙන තිබේ. මැයි මාසයේදී පෙට්‍රල් සහ ඩීසල් මිල කිහිප වරක් ඉහළ යාමත් සමඟ පාරිභෝගිකයින් අඩු වියදමින් නඩත්තු කළ හැකි වාහන වෙත යොමු වීම මෙම වාර්තාගත ඉහළ යාමට ප්‍රධාන හේතුව වී ඇත.
ජූනි මාසයේ මගී වාහන අලෙවිය තුළ CNG වාහන 24.3%ක ද, දෙමුහුන් (Hybrid) වාහන 8.3%ක ද, විදුලි වාහන (EV) 7.8%ක ද දායකත්වයක් ලබා දී ඇත.
සමස්ත වාහන අලෙවිය 21.8%කින් වර්ධනය වී වාර්තාගත ඒකක මිලියන 2.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මගී වාහන අලෙවිය ද වසරින් වසර 28.6%ක වර්ධනයක් වාර්තා කරයි. මීට අමතරව, ද්වි-රෝද රථ අලෙවිය තුළ විදුලි වාහනවල කොටස ප්‍රථම වතාවට 10.6%ක් ලෙස ද්වි-අංක අගයක් සනිටුහන් කර තිබේ.
ඉන්දීය වාහන වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන මරුති සුසුකි සමාගම සඳහන් කරන්නේ ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ඔවුන්ගේ CNG මෝටර් රථ සඳහා වූ වෙන් කිරීම් (bookings) 40%කින් ඉහළ ගොස් ඇති බවයි. යුද්ධය හේතුවෙන් ඇති වූ අමුද්‍රව්‍ය සැපයුම් දාමයේ බාධා සහ බොරතෙල් මිල උච්චාවචනයන් ක්‍රමයෙන් පහව ගියද, වෙළෙඳපොළ සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමට තවත් කාර්තු කිහිපයක් ගතවනු ඇතැයි FADA සභාපති සී.එස්. විග්නේෂ්වර් පෙන්වා දෙයි.














