විදේශ ආධාර ව්‍යාපෘති අරමුදල් මගින් ක්‍රියාත්මක කෙරෙන පුහුණු වැඩමුළු මිල අධික හෝටල්වල පැවැත්වීමෙන් වළකින ලෙස රජය මගින් චක්‍රලේඛ මගින් උපදෙස් දී තිබියදීත්, ද්විතියික අධ්‍යාපන ආංශික සංවර්ධන වැඩසටහන විසින් රුපියල් 3,768,072ක මුදලක් වැය කරමින් තුල්හිරිය ප්‍රදේශයේ හෝටලයක පුහුණු වැඩමුළුවක් පවත්වා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
2024 වර්ෂයේදී මෙම වැඩමුළුව පවත්වා ඇති අතර, රජය විසින් පහසුකම් සපයනු ලබන රජයේ ආයතන භාවිතා කරමින් අවම වියදමකින් මෙවැනි වැඩසටහන් පවත්වන ලෙස ජාතික අයවැය චක්‍රලේඛ මගින් දැඩිව දැනුම් දී තිබුණි.
මෙම ව්‍යාපෘතියේ අරමුණ වී ඇත්තේ ද්විතියික අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කිරීම, විද්‍යාව, තාක්ෂණය, ගණිතය හා වාණිජ්‍ය යන අංශවල ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ පාසල් හා පළාත් මට්ටමින් කළමනාකරණ ධාරිතාව ශක්තිමත් කිරීමයි.
කෙසේ වෙතත්, මෙම අනිසි වියදම සම්බන්ධයෙන් විගණනය විමසූ විට, අදාළ වැඩසටහනේ කළමනාකාරිත්වය විසින් ඒ පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් කර නොමැති බවද විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.














