මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අවසාන අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවට අනුව, 2025 වසර තුළ මෙරට කෘෂිකාර්මික අංශය සංවර්ධනය කිරීම වෙනුවෙන් රජය රුපියල් බිලියන 142ක මුදලක් වැය කර ඇත. මෙය 2024 වසරට සාපේක්ෂව 17%ක වර්ධනයකි.
පසුගිය වසරේ පොහොර සහනාධාර වැඩසටහන වෙනුවෙන් රජය රුපියල් බිලියන 37ක මුදලක් වැය කර තිබේ. වී අලෙවි මණ්ඩලය විසින් 2025 වසරේදී ගොවීන්ගෙන් වී මෙට්‍රික් ටොන් 162,257ක් මිලදී ගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 19,633කි. මීට අමතරව, වී මෙට්‍රික් ටොන් 49,612ක ආරක්ෂිත වී තොගයක් පවත්වාගෙන යාම සඳහා රුපියල් බිලියන 6.2ක වියදමක් දරා ඇත.
එම වාර්තාවට අනුව 2025 වසරේ ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ සහල් ආනයනය සඳහා වැය කර ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 90.3කි. ඉන් මැයි මාසයේදී පමණක් සහල් ආනයනය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 49ක් වැය කර තිබේ.














