මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සිදුවූ ජීවිත හානි සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්වන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, තමා යටතේ පවතින ආයතනයක මෙවැනි සිදුවීමක් වාර්තා වීම හේතුවෙන් එහි සදාචාරාත්මක වගකීම තමා විසින් භාරගන්නා බවයි. පාතාල කල්ලි දෙකක් අතර ඇති වූ මෙම ගැටුම කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවත්, මියගිය පුද්ගලයින්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය ශෝකය ප්‍රකාශ කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
සිදුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ අධිකරණ අමාත්‍යවරයා ලෙස තම භාරයේ ඇති ආයතනයක මෙම සිදුවීම වාර්තා වීම ගැන බලවත් කම්පනයක් පවතින බවත්, එම නිසා එහි වගකීම තමා භාරගන්නා බවත්ය. පසුතැවීමට වඩා වැදගත් වන්නේ මෙම ගැටුම ඇති වූයේ කෙසේද, එහි වගකිවයුත්තන් කවුරුන්ද සහ ඉදිරියේදී මෙවැනි සිදුවීම් නැවත ඇති නොවීමට ගත යුතු පියවර මොනවාද යන්න සොයා බැලීම බව ඔහු අවධාරණය කළේය. ගැටුම විසඳීමට බන්ධනාගාර නිලධාරීන් සිය උපරිමයෙන් කටයුතු කර ඇති බවත්, මෙම සිදුවීම සුළු කොට තැකිය නොහැකි බැවින් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වා ඉතා ඉක්මනින් අවශ්‍ය පිළියම් යොදන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
පවතින තත්ත්වය මේ වන විට සමතයකට පත් කර ඇති බවත්, මියගිය සහ තුවාල ලැබූවන් සම්බන්ධයෙන් වහාම විමර්ශන කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා තහවුරු කළේය.
















