පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු කර ඇති රිට් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේ, පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති ඉල්ලීම් මූලික අයිතිවාසිකම්වලට සම්බන්ධ කරුණු වන බැවින්, ඒවා විභාග කිරීමට අභියාචනාධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි. එම නිසා මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කරන ලෙස ඇය ඉල්ලා සිටියාය.
එම අවස්ථාවේදී පෙත්සම්කාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සිය දේශනය අවසන් කළේය. පෙත්සම සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දැක්වීම් මේ මස 09 වනදා දක්වා කල් තබා ඇත.
















