මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීම සහ රැඳවියන් මියයාමේ සිදුවීම අශිෂ්ඨ, මිලේච්ඡ සහ නින්දිත ක්‍රියාවක් ලෙස ෆ්‍රී ලෝයර්ස් සංවිධානය දැඩි ලෙස හෙළා දකින බව එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබේ. කොළඹ මල් පාරේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ රාජ්‍ය භාරයේ සිටින සිරකරුවන්ට මෙලෙස ‘ඕපන් ෆයර්’ කිරීම ලෝකයේ කිසිදු ශිෂ්ඨ රටක සිදු නොවන බවත්, බොහෝ රැඳවියන් මියගොස් ඇත්තේ පොලිස් නිලධාරියෙකු කවුළුවකින් ඇතුළට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් බවත්ය. මෙරට බන්ධනාගාර පද්ධතියේ ධාරිතාව 215% කින් ඉක්මවා ගොස් ඇති බවත්, 2026 ජූලි 3 වන විට බන්ධනාගාරවල සිටි සමස්ත රැඳවියන් සංඛ්‍යාව 41,250ක් බවත් ඔහු දත්ත ඉදිරිපත් කරමින් පැවසීය. බන්ධනාගාරවල උපරිම ධාරිතාව 13,241ක් වුවද, දැනට රඳවා සිටින පිරිසෙන් 73.8%ක්ම රිමාන්ඩ් සිරකරුවන් බවත්, මෙයින් පැහැදිලි වන්නේ ඇප දිය හැකි වැරදිවලට පවා පුද්ගලයන් බන්ධනාගාරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය. තවද, අධිකරණ අමාත්‍යවරයා මරණ ගණන සොයා ගන්නේ සමාජ මාධ්‍ය හරහා බවත්, ඔහුගේ අවධානය යොමුව ඇත්තේ විනිසුරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම වැනි කරුණු කෙරෙහි පමණක් බවත් ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
















