මීගමුව බන්ධනාගාරය තුළ සිදු වූ කලහකාරී සිදුවීමේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීමට පියවර ගන්නා ලෙස ‘බන්ධනාගාර නිලධාරි එකමුතුව’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
මෙම ප්‍රහාරය තරයේ හෙළා දකින බවත්, මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන් වෙත තමන්ගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන බවත් එම සංගමය පෙන්වා දෙයි. එසේම, ගැටුමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන අනෙකුත් නිලධාරීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බව ද ඔවුන් වැඩිදුරටත් කියා සිටී.
රාජකාරිය ඉටු කරමින් සිටියදී දිවි පිදූ නිලධාරීන් වෙනුවෙන් එම සංගමය කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියේ අන්තර්ගත ප්‍රධාන ඉල්ලීම් පහත දැක්වේ
ඝාතනයට ලක්වූ බන්ධනාගාර නිලධාරීන් හත්දෙනාගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කිරීම.
මියගිය නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අනාගතය බන්ධනාගාර දෙපාර්තමේන්තුව හෝ රජය මැදිහත් වී පූර්ණ ලෙස රැක බලා ගැනීම.
කුඩු සහ පාතාල කල්ලිවල ප්‍රහාර හමුවේ නොසැලී රාජකාරිය ඉටු කරමින් සිටියදී දිවිදුන් නිලධාරීන් වෙනුවෙන් මෙම සාධාරණ ඉල්ලීම් වහාම ඉටු කිරීම බලධාරීන්ගේ වගකීමක් බව ද එම සංගමය අවධාරණය කර සිටී.
















