දිවයින පුරා හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන දහසක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. 136 වැනි පුරා විද්‍යා දින සැමරුම සහ සම්මන්ත්‍රණය කොළඹදී පැවැත්වූ අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළේය.
පුරා විද්‍යා ස්ථාන 100ක කැනීම් කටයුතු ඉදිරි සති දෙක තුළ ආරම්භ කිරීමට නියමිතයි. උරුමයට ජීවයක් මැයෙන් පුරා විද්‍යා දෙසතිය මෙහිදී ආරම්භ කෙරුණු අතර, එම දෙසතිය තුළ ප්‍රජා ශ්‍රම දායකත්වයෙන් හඳුනාගත් පුරා විද්‍යා ස්ථාන දහසක් සංරක්ෂණය කිරීමට සැලසුම් කර ඇත. රුපියල් මිලියන 140කට අධික මුදලක් පවතින පුරා විද්‍යා ත්‍යාග අරමුදලෙහි පවතින නීතිමය බාධා ඉවත් කර, එය ජනතාවගේ සහ නිලධාරීන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යෙදවීමට පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම අවස්ථාවේදී මහාචාර්ය රාජ් සෝමදේව මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලදී.
















