අනධ්‍යයන අංශයේ ඉහළම බලධාරියා, වේරහැර නැමැති නිලධාරියාද කැටුව උපකුලපති කාර්යාලයට කඩා වැදුණේ දුම්මල වරම අතින් ගත් යකැදුරෙකු මෙනි. ඒ වන විට කිසියම් ලේඛනයක් පරීක්ෂා කරමින් සිටි උපකුලපති මහාචාර්ය හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන්, මෙම අනවසර කඩාවැදීම පිළිබඳ අසතුටෙන් පසුවුවද, ඒ බව නොඅඟවා ප්‍රශ්නාර්ථය දල්වමින් නිලධාරීන් දෙදෙනා දෙස සෘජු බැල්මක් හෙළුවේය. උපකුලපතිවරයාට වේරහැර පෙන්වා සිටි අනධ්‍යයන ලොක්කා මෙසේ කියා සිටියේය:
“සර් මේ පරයා මේ දැන්ම ඉන්ටර්ඩික් (වැඩ තහනම්) කරන්න ඕන. මූ මුගේ තරම දන්නෙත් නැහැ. මූ තැන තැන කියාගෙන යනවා අර වෑන් එක ගිනි තිබ්බෙ අපියි කියලා.”
උපකුලපතිවරයාට කාරණය වහා අවබෝධ විය. ඒ වන විටත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් අනධ්‍යයන ලොක්කා ඇතුළු පිරිසකට චෝදනා එල්ල වී තිබෙන බවත්, ඒ සම්බන්ධයෙන් වේරහැර නැමැති නිලධාරියා යම් සාධනීය මැදිහත් වීමක් සිදුකරන බවත් මනාව දැන සිටි ඔහු, අනධ්‍යයන ලොක්කා කෝපාවිෂ්ඨ වීමටත්, ඔහු වේරහැර සේවයෙන් පහකිරීමට උත්සාහ කිරීමේ සැබෑ හේතුවත් වටහා ගත්තේය. එකී අවබෝධය සඟවා ගත් ඔහු මෙසේ පැවසීය:
“එහෙම එකපාරටම මිනිස්සු ඉන්ටර්ඩික් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඒ ගැන විධිමත් පැමිණිල්ලක් කරන්න.”
“මොන බම්බුවේ පැමිණිලිද සර් තව! මූ හැම තැනම කියල තියෙනවා ඒ කථාව. අපිට එහෙම චෝදනා කර කර මූට මේකෙ වැඩ කරන්න දෙන්න බැහැ. සර් ඇවිල්ල ඉන්නෙ අවුරුදු තුනක් වැඩ කරන්න. සර් ඉදල යයි. මම මේකෙ හැමදාම ඉන්න කෙනෙක්. ඒ නිසා මූ ගෙදර යවන්නම ඕන. මේ දැන්ම ලියුම ගහලා මූ ගෙදර යවන්න!” යනුවෙන් අනධ්‍යයන ලොක්කා නැවතත් උපකුලපතිවරයා වෙත තර්ජනාංගුලිය දිගු කරමින් ආවේගයෙන් කියා සිටියේය. උපකුලපතිවරයා නැග එමින් තිබූ කෝපය මැඩගනිමින් නැවත අවධාරණය කර සිටියේ එසේ සේවකයන් ඉන්ටර්ඩික් කළ නොහැකි බවය.
අනධ්‍යයන ලොක්කාට උන් හිටි තැන් අමතක විය:
“තමුසෙ මහා කොන්ද පණ නැති පෙන්දෙක්. තමුසෙ වගේ උන් එක්ක මේක පාලනය කරන්න බැහැ. මේවගෙන් අපි බලූ වෙනවා!” යැයි ඔහු ආවේගයෙන් කෑගැසුවේ උපකුලපතිවරයාගේ තනතුරෙහි ගෞරවයද පසෙක තබමිනි.
අනධ්‍යයන ලොක්කාගේ ඊතල වැනි වචනවලින් ලෙහෙසියෙන් කෝප ගන්නා පුද්ගලයෙකු නොවූ උපකුලපති අබේගුණවර්ධනයන්ගේ කෝපාග්නියේ රතු ඉර පැන්නේය. එල්ල කෙරුණ නින්දාවත් අවමානයත් ඉවසිය හැකි නොවේ. අසුන් ගෙන සිටි පුටුව පසෙකට විසිකළ උපකුලපතිවරයා ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිට ගර්ජනා කළේ මෙලෙසිනි:
> “බහිනවා මගේ ඔෆිස් එකෙන් එළියට! තමුසෙ කියන කියන විදිහට මිනිස්සු එලවන්න නෙමෙයි මම මෙතන ඉන්නෙ. තමුන්ට වේරහැර එක්ක ඔය තරම් වෛරයක් තියෙන්නේ මේ කියන දේවල්වලත් ඇත්තක් තියෙනවා වෙන්න පුළුවන්!”
උපකුලපතිවරයාගේ අනපේක්ෂිත ගිගිරුමෙන් අසරණ වූ අනධ්‍යයන ලොක්කාට කර කියා ගත හැකි දෙයක් නොවුණ තැන, “හොඳයි එහෙනම් කරල බලමු” යැයි මුමුණමින් පසුබා ගියේ, තමන්ගේ හිස මත කඩා වැටුණේ මොන මරාලයක්දැයි සිතමිනි. උපකුලපති හරිශ්චන්ද්‍ර අබේගුණවර්ධනයන් සහ අනධ්‍යයන ලොක්කා අතර සිදුවුන මෙම වාග් සංග්‍රාමය ඇසින් දුටු එකම පුද්ගලයා ප්‍රධාන විනයාරක්ෂක නිලධාරී අනුර වේරහැරය.
මෙතෙක් කිසිවක් මුවින් නොබැණ සිදුවීම දෙස බලාගෙන සිටි වේරහැරට උපකුලපතිවරයාගේ අනම්‍ය ප්‍රතිපත්තිය ගැන විශාල ගෞරවයක් හට ගත්තේය. ඉන් අනතුරුව වෑන් රථය ගිනි තැබීම ගැන වන සිදුවීමෙහි සියලු තොරතුරු උපකුලපතිවරයා වෙත ඉදිරිපත් කළ ඔහු මෙසේ කීවේ හදවත බර කරගෙනය:
“සර් මට හරි ආඩම්බරයි සර් වගේ යුක්තිගරුක උපකුලපතිවරයෙක් යටතේ වැඩ කරන්න ලැබීම ගැන. අපි ජීවිත පරිත්‍යාගයෙන් හරි සර්ව ආරක්ෂා කරනවා. සර් කිසි දේකට බයවෙන්න එපා.”
එම අවස්ථාවේදී සිය හඬ අවදිකළ උපකුලපති අබේගුණවර්ධන: “වේරහැර, අපි මේ සිද්ධියේ ඇත්ත හොයල වැරදිකරුවන්ට දඬුවම් දෙන්න ඕන. ඒ සම්බන්ධයෙන් කරන්න පුළුවන් හැමදේම කරන්න. මගේ උපරිම සහයෝගය මම ඔයාලට දෙනවා” යනුවෙන් වැරදිකරුවන් සොයා යාමට වේරහැරට නියත විවරණ ලබා දුන්නේය.
– අනධ්‍යයන ලොක්කා ගෙදර යැවූ හැටි ඊළඟ කොටසින් කියවන්න















