බේරේ වැව අවට නීතිවිරෝධී ලෙස කසළ බැහැර කරනු ලබන්නේ කොළඹ නගරයේ පදිංචිකරුවන් නොව, නගරයෙන් පිටත සිට වාහනවලින් පැමිණෙන පිරිස් විසින් බව කොළඹ මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත කුමාර මහතා පවසයි. මහනගර සභාවට අයත් භූමිවල කසළ බැහැර කිරීම නිසා කොළඹ ඩෙංගු ව්‍යාප්තියක් සිදුවන බවට පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කරයි.
මේ පිළිබඳව සහ කොළඹ ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය නගරාධිපතිවරයා දැක්වූ අදහස්:
මහනගර සභාවට අයත් කිසිදු භූමියක කසළ බැහැර කිරීමට අවසර ලබා දී නොමැති අතර, නගර සභා භූමිවල කසළ බැහැර කිරීමක් ද සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. මෑතකදී ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන, මහනගර සභාව සහ සිවිල් සංවිධාන එක්ව බේරේ වැව අවට ප්‍රදේශ පිරිසිදු කරන ලදී.
කොළඹ නගරයේ ගෘහස්ථ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම අඛණ්ඩව සිදු කෙරේ. එකතු කරන කසළ කෙරවලපිටියට ප්‍රවාහනය කරනු ලබන අතර, අපද්‍රව්‍යවලින් විදුලිය නිපදවන බලාගාරය සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් ස්ථාන වෙත ඒවා යොමු කෙරේ.
ඩෙංගු මදුරු බෝවීම අවම කිරීම සඳහා සියලුම කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිසිදු කිරීමේ ව්‍යාපෘති සහ ඩෙංගු මර්දන වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් කොළඹ මහනගර සභා බලප්‍රදේශයට අයත් වන්නේ 4.7%ක් පමණි. ජනවාරි මාසයේදී මෙම අගය 10%ක්ව පැවති අතර, එය මේ වන විට පහත බැස තිබේ.
අතහැර දමා ඇති ඉදිකිරීම් භූමි ඩෙංගු ව්‍යාප්තියට විශාල අභියෝගයක් වී ඇත. එවැනි ස්ථානවල හිමිකරුවන් සොයා නීත්‍යනුකූලව පියවර ගැනීමට නගරාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර, මේ වන විටත් ඇතැම් ස්ථාන පිරිසිදු කර ඇත.
















