ඇමෙරිකා එක්සත් ජනපදය විසින් එල්ල කරන ලද ප්‍රහාර මාලාවකට ප්‍රතිචාර වශයෙන් කුුවේට් සහ බහරේන්හි පිහිටි ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල යොදාගෙන තිබේ. ප්‍රහාරයට ලක්වූ ප්‍රධාන ස්ථාන අතර කුුවේට්හි ‘කෑම්ප් අරිෆ්ජාන්’ (Camp Arifjan) සහ ‘අලි අල් සාලෙම්’ ගුවන් කඳවුර, මෙන්ම බහරේන්හි ‘ෂෙයික් ඉසා’ ගුවන් කඳවුර සහ ඇමෙරිකානු පස්වන නාවික බලඇණිය ස්ථානගතව සිටින ‘ජුෆෙයාර්’ (Juffair) නාවික කඳවුර ද වේ.
ඉරානය මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ සිය දකුණු වෙරළබඩ පළාත්වලට සහ නැගෙනහිර ඉරානයේ පාලම් දෙකකට ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බව ඔවුන් පවසයි. මීට පෙර ඇමෙරිකාව විසින් ටෙහෙරානයට ඊසාන දෙසින් පිහිටි අක්කාලා (Aqqala) ප්‍රදේශයේ දුම්රිය පාලමකට පහර දුන් බවද ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
කුුවේට් සහ බහරේන් බලධාරීන් පවසන්නේ අද (09) උදෑසන එම රටවල අනතුරු ඇඟවීමේ සයිරන් නාද වූ බවත්, කුුවේට් හමුදාව තමන් වෙත එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන යානා තර්ජනවලට තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් ප්‍රතිචාර දැක්වූ බවත්ය.
ඇමෙරිකාව යළිත් ප්‍රතිප්‍රහාර එල්ල කළහොත් කලාපයේ පවතින අනෙකුත් ඇමෙරිකානු කඳවුරු ඉලක්ක කරගෙන තම ප්‍රතිචාර පුළුල් කරන බව ඉරාන ආරක්ෂක බලකාය වැඩිදුරටත් අනතුරු අඟවයි.
















