චීනය සහ පාකිස්ථානය අතර වර්ධනය වන නාවික සහයෝගීතාවයට ප්‍රතිචාරයක් ලෙස, ඉන්දීය යුද නැව් සතුරු රේඩාර් පද්ධතිවලට හසු නොවන පරිදි සැඟවිය හැකි සුවිශේෂී ඇන්ටනා තාක්ෂණයක් ඒකාබද්ධව සංවර්ධනය කිරීමට ඉන්දියාව සහ ජපානය ගිවිසුමකට එළඹ තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ ඉන්දීය යුද නැව් සඳහා ජපානයේ ‘යුනිකෝන්’ (UNICORN – Unified Complex Radio Antenna) ඇන්ටනා පද්ධතිය සවි කිරීමට නියමිතය. මෙමගින් ඇන්ටනා කිහිපයක් එකම සංයුක්ත ව්‍යුහයකට ගොනු කෙරෙන අතර, රේඩාර් තරංග පරාවර්තනය කරන නැවේ මතුපිට ප්‍රමාණය අවම කරමින් සතුරු රේඩාර් පද්ධතිවලට නැව හඳුනාගැනීමට ඇති ඉඩකඩ අහුරා දැමීම මෙහි අරමුණයි.
පසුගිය බ්‍රහස්පතින්දා නව දිල්ලියේදී ජපන් අග්‍රාමාත්‍ය සනායේ ටකායිචි මහත්මිය සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙම ව්‍යාපෘතිය ඉන්දියාව සහ ජපානය අතර සිදුවන ප්‍රථම ඒකාබද්ධ ආරක්ෂක තාක්ෂණික සංවර්ධන ව්‍යාපෘතිය බව සඳහන් කළේය. ඉදිරියටත් කලාපීය සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීම උදෙසා මෙවැනි ආරක්ෂක තාක්ෂණයන් ඒකාබද්ධව සංවර්ධනය කරන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
ආරක්ෂක විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම පියවර දෙරට අතර ආරක්ෂක සබඳතා නවතම මානයකට ඔසවා තබන බවත්, බාහිර බලවතුන් මත යැපීම අවම කරමින් සමීප ආරක්ෂක සහයෝගීතාවයක් ගොඩනැගීමට දෙරටම උත්සාහ කරන බවත්ය.















