පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම හා රඳවා ගැනීම වළක්වාලන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විසින් ගොනු කර ඇති රිට් පෙත්සමට සහාය පළකරමින් ගොනු කර ඇති අතරමැදි පෙත්සම් සියල්ල ලබන 17 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු පාර්ශ්ව කිහිපයක් විසින් මෙම අතරමැදි පෙත්සම් ඉදිරිපත් කර ඇත.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ මෙම පෙත්සම් අද (10) කැඳවනු ලැබීය.
එහිදී වග උත්තරකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය පෙන්වා දුන්නේ, මුල් පෙත්සම සම්බන්ධයෙන් අධිකරණය නොතීසි නිකුත් කරන්නේ නම් පමණක් මෙම අතරමැදි පෙත්සම් සලකා බැලිය හැකි බවයි.
අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ මණ්ඩලය ඉල්ලා සිටියේ, මෙම නඩු කටයුත්ත මහජන අවධානයට පාත්‍ර වී ඇති බැවින් තමන්ට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසයි.
කෙසේ වෙතත්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතාගේ කරුණු දැක්වීම් අවසන් වූ පසු පමණක් මෙම අතරමැදි ඉල්ලීම් සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බව සභාපති විනිසුරුවරයා සඳහන් කළේය.















