කටාර් රාජ්‍යයේ පිහිටි අල් උඩෙයිඩ් ගුවන් කඳවුර සහ ජෝර්‌දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කර ඉරානය විසින් ප්‍රහාර මාලාවක් දියත් කර තිබේ. මෙම ප්‍රහාරවලින් අල් උඩෙයිඩ් කඳවුරේ නඩත්තු මධ්‍යස්ථානයක් සහ අණදෙන හා පාලන මධ්‍යස්ථානයක් විනාශ වූ බවත්, ජෝර්‌දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුරේ අණදෙන මධ්‍යස්ථානය සහ MQ-9 ඩ්‍රෝන යානා රඳවා තිබූ මධ්‍යස්ථාන විනාශ වූ බවත් ඉරානය තහවුරු කරයි. මීට අමතරව ඕමානයේ පිහිටි අමෙරිකානු නාවික හමුදා සැපයුම් සහ ඉන්ධන පිරවුම් මධ්‍යස්ථානයක් ද ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බව වාර්‌තා වේ.
පවතින උණුසුම් තත්ත්වය හමුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසන්නේ ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් ව්‍යර්‌ථ කරමින් සිටින බවයි. මේ අතර, ආරක්ෂක තර්‌ජන ඉහළ යාම හේතුවෙන් කටාර් රාජ්‍යයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ජනතාවට තම නිවෙස්වල හෝ ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස උපදෙස් දී ඇති අතර, බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ද ගුවන් ප්‍රහාරක සයිරන් නාද වීමත් සමඟ ජනතාවට සන්සුන්ව සිටින ලෙස දන්වා තිබේ.
කලාපීය වශයෙන් වර්ධනය වී ඇති මෙම යුදමය තත්ත්වය හමුවේ මහජනතාවට නිල ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින ලෙසත් අදාළ රාජ්‍යයන්හි බලධාරීන් ඉල්ලීම් කර ඇත. දෙරට අතර ඇතිවී තිබෙන මෙම ගැටුම්කාරී වටපිටාව මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර තිබේ.
















