නව ජනාධිපති නිල ගුවන් යානය වන ‘එයාර් ෆෝස් වන්’ යානයේ පවතින ආරක්ෂක ගැටළු පිළිබඳ තොරතුරු වාර්‌තා කිරීම සම්බන්ධයෙන් ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදීන් සිව්දෙනෙකුට ලබන බදාදා මැන්හැටන්හි මහා ජූරියක් හමුවේ පෙනී සිටින ලෙස අමෙරිකානු යුක්ති දෙපාර්‌තමේන්තුව විසින් නියෝග කර තිබේ. ජූලියන් ඊ. බාන්ස්, එරික් ෂ්මිට්, ටයිලර් පේජර් සහ එරික් ලිප්ටන් යන මාධ්‍යවේදීන්ට අදාළ සිතාසි පසුගිය සිකුරාදා ඔවුන්ගේ නිවෙස් වෙතම ගොස් භාර දීමට ෆෙඩරල් නියෝජිතයින් පියවර ගෙන ඇති බව එම පුවත්පත වාර්‌තා කරයි.
මෙම කැඳවීම ජාතික ආරක්ෂාවට අදාළ රහසිගත තොරතුරු මාධ්‍ය වෙත මුදාහළ පුද්ගලයන් සොයා ගැනීමේ විමර්ශනයක කොටසක් බව අමෙරිකානු යුක්ති දෙපාර්‌තමේන්තුව නිවේදනය කරයි. මාධ්‍යවේදීන් මෙම විමර්ශනයේ ඉලක්කයන් නොවන බවත්, රජයේ රහසිගත තොරතුරු නීති විරෝධී ලෙස හෙළි කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවත් බලධාරීන් අවධාරණය කරයි. කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය මාධ්‍ය නිදහසට එල්ල කරන බලපෑමක් බව පවසමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සහ මාධ්‍ය නිදහස සඳහා වන පදනම සිය විරෝධය පළ කර තිබේ.
පසුගිය වසරේදී කටාර් රාජ්‍යයෙන් තෑග්ගක් ලෙස ලැබුණු නව බෝයිං යානය සම්බන්ධයෙන් පුවත්පත වාර්‌තා කළේ, එම යානය තුළ පෙර පැවති යානාවල ඇති මිසයිල නාශක පද්ධති සහ ආරක්ෂක උපාංග අන්තර්‌ගත නොවන බවයි. මෙම ආරක්ෂක දෝෂ හේතුවෙන් ජනාධිපතිවරයා සිය විදේශ සංචාර සඳහා නැවත පැරණි යානය භාවිත කිරීමට තීරණය කළ බව එම වාර්‌තාවල සඳහන් විය. මීට පෙරද ට්‍රම්ප් පරිපාලනය විසින් මාධ්‍ය ආයතනවලට බලපෑම් කිරීම සඳහා රාජ්‍ය බලය අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, ජාතික ආරක්ෂාව මුල් කරගනිමින් මාධ්‍යවේදීන්ගේ මූලාශ්‍ර අනාවරණය කර ගැනීමට රජය දරන උත්සාහයන් පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.
















