පළාත් සභා මැතිවරණයේ කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විසින් සකස් කරන ලද තාක්ෂණික වාර්තාව, පළාත් සභා ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ඉදිරිපත් කර තිබේ. අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු එම සංසදයේ සාමාජික මන්ත්‍රීවරියන් පිරිසක් සහභාගී වූහ.
පවතින සමානුපාතික නියෝජන ක්‍රමය සහ මැතිවරණ ප්‍රතිඵල නොවෙනස්ව පවත්වාගෙන යමින් කාන්තා සහ තරුණ නියෝජනය ඉහළ නැංවීම සඳහා යෝජනා කර ඇති තාක්ෂණික ක්‍රමවේදය පිළිබඳව මෙහිදී කරුණු පැහැදිළි කෙරුණි. එහිදී පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණවලදී කාන්තා නියෝජනය අවම වශයෙන් 33% ක් දක්වා ඉහළ නැංවිය යුතු බව මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කළ අතර, මෙම යෝජිත ක්‍රමවේදයේදී මතුවිය හැකි නීතිමය හා ප්‍රායෝගික ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කර ඉදිරි රැස්වීමකදී නැවත සාකච්ඡා කිරීමට තීරණය විය. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, නීතිඥ සුනිල් වටගල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
















