මැලේසියාවේ සෙලැන්ගෝර් ප්‍රාන්තයේ ජෙන්ජරොම් හිදී බලහත්කාර ශ්‍රම සූරාකෑමේ ජාවාරමකට සම්බන්ධ බවට සැකපිට 38 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැලේසියානු ජාතික කාන්තාවක් සමඟ විවාහ වී දීර්ඝකාලීන පදිංචි වීසා බලපත්‍රයක් හිමිකරගෙන සිටින අදාළ සැකකරු, නීත්‍යානුකූල රැකියාවක් ලබාදෙන බවට පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවක් එරටට ගෙන්වාගෙන කිසිදු වේතනයක් නොගෙවා තම ආහාර ව්‍යාපාරයේ සේවයේ යොදවා ඇත. මීට අමතරව ඇයට ප්‍රමාණවත් ලෙස ආහාර ලබා නොදී, ගමනාගමන අයිතිවාසිකම් අහුරමින් ශාරීරික වදහිංසා සහ තර්ජන එල්ල කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
ලැබුණු මහජන පැමිණිලි සහ බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වූ එරට මානව ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ඒකකය විසින් මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී සූරාකෑමට ලක්ව සිටි ශ්‍රී ලංකා කාන්තාව මුදාගැනීමට සමත්ව ඇත. තවද, මෙම මෙහෙයුමේදී වලංගු ගමන් බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයන් හයදෙනෙකු (පිරිමි පුද්ගලයන් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු) ද අත්අඩංගුවට පත්ව තිබේ. සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව එරට මානව ජාවාරම් සහ ආගමන විගමන පනත් යටතේ නීතිමය පියවර ගෙන ඇත.














