ශ්‍රී ලංකාව මේ වන විට බරපතල ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින බවත්, එම සැබෑ තත්ත්වය වත්මන් රජය මහජනතාවගෙන් වසං කිරීමට උත්සාහ කරන බවත් හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) පුරෝකථනයන්ට අනුව මෙම වසර අවසානය වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 9.27ක් දක්වා ඉහළ නැංවිය යුතු වුවද, දැනට පවතින සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.4ක් පමණක් වන බැවින් තවමත් ඩොලර් බිලියන 3ක පමණ විශාල හිඟයක් පවතින බව ඔහු පෙන්වා දෙයි.
රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමය තුළ ඇති කරගත් එකඟතා මත 2024 වසර අවසානය වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 6.1ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වූ නමුත්, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු එම වර්ධනය වී ඇත්තේ ඩොලර් බිලියන 0.4කින් පමණක් බව හිටපු අමාත්‍යවරයා අනාවරණය කළේය.
අපනයන ආදායමට වඩා වේගයෙන් ආනයන වියදම් ඉහළ යමින් පවතින බැවින්, ඉදිරියේදී ඩොලරයේ අගය රුපියල් 350 සීමාව දක්වා ඉහළ යාමේ බරපතල අවදානමක් පවතින බවට ද ඔහු අනතුරු ඇඟවීය.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් මෙම මූල්‍ය අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා නිසි පරිදි දැනුවත් නොකර එය වසං කරමින් සිටින බවට ද බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කර සිටියේය.














