නව රජය මඟින් පසුගිය පාලන කාල තුළ සුදු අලි බවට පත්කර තිබූ රාජ්‍ය ආයතන සහ පළාත් පාලන ආයතන ශක්තිමත් කර ජන ජීවිතය නඟා සිටුවීමට වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පැවසීය.
පළාත් පාලන ආයතන පද්ධතිය තුළ ආයතනික විශිෂ්ටත්වය ඉහළ නැංවීම සහ ජනතා අවශ්‍යතාවන්ට කඩිනම් ප්‍රතිචාර දක්වන රාජ්‍ය සේවාවක් වෙනුවෙන් ශ්‍රී ලංකා පරිපාලන ආයතනයේ පැවැති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ 2026–2030 උපායමාර්ගික සැලැස්ම එළිදැක්වීමේ නිල උත්සවයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
රටේ පළාත් පාලන ආයතන 341ක් පවතින බවත්, විධායක ජනාධිපති, කැබინට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ඒකකයක් ලෙස ගමේ සාමාන්‍ය ජනතාවට ඉතාම සමීපතම ආයතනය පළාත් පාලන ආයතනය වන බවත් ඔහු පෙන්වා දුන්නේය.
පසුගිය කාලසීමාව තුළ මෙම ආයතන නිකම්ම නිකන් සුදු අලි බවට පත්වෙමින්, මහජන මුදල් නාස්ති කරන තත්ත්වයට පත්ව තිබූ බැවින් ඇතැම් අවස්ථාවල ඒවා ඈවර කිරීමට පවා සිදුවන මට්ටමට පත්ව තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
නව රජය යටතේ ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය ශක්තිමත් කරන, දිළිඳුබව දුරලන ප්‍රජා ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමට අමතරව, මාර්ග පද්ධතිය, සෞඛ්‍ය සහ සනීපාරක්ෂාව ඇතුළු ග්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලන ආයතන නඟාසිටුවීමට රජය පුළුල් මැදිහත් වීමක් කරමින් සිටින බව ඔහු වැඩිදුරටත් පැවසීය.














