ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පාලි භාෂාව සහ බෞද්ධ උරුමය සුරැකීමේ සබඳතාව තවදුරටත් ශක්තිමත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කරයි.
කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “පුනර්ජීවනය සහ ගෝලීය සම්බන්ධතා සඳහා උපායමාර්ගික මාර්ග සිතියමක්” පිළිබඳ ශ්‍රී ලංකාවේ පාලි භාෂා අධ්‍යයනය ශක්තිමත් කිරීම පිළිබඳ කතිකාවට එක්වෙමින් මහ කොමසාරිස්වරයා මෙම අදහස් පළ කළේය.
අගමැති නරේන්ද්‍ර මෝදි මහතා විසින් දෙරට ‘ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්’ (Civilisational Twins) ලෙස හඳුන්වා දී ඇති බව පෙන්වා දුන් ඒ මහතා, අරහත් මහින්ද තෙරුණුවන්ගේ ලංකාගමනය මෙම සබඳතාවේ පදනම බව ප්‍රකාශ කළේය.
2020 වසරේදී අගමැති මෝදි මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියන 15ක විශේෂ ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකාවේ බෞද්ධ විහාරස්ථාන සහ පිරිවෙන් සඳහා සූර්ය බලශක්ති විදුලිය ලබා දීම ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇති බව ඔහු සඳහන් කළේය.
පාලි භාෂාව සුරැකීමෙන් බුදුන් වහන්සේගේ ධර්මයේ පණිවිඩය ලොවට ව්‍යාප්ත කළ හැකි බවත්, 2024 ඔක්තෝබර් මාසයේදී ඉන්දීය රජය විසින් පාලි භාෂාවට ‘සම්භාව්‍ය භාෂාවක’ (Classical Language) තත්ත්වය ලබා දී ඇති බවත් මහ කොමසාරිස්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.














