හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් නියම කරන ලද නාවික ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කළ තෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු බෝම්බයක ගැටී පිපිරීමකට ලක්ව ඇති බව ඉරාන මාධ්‍ය වාර්තා කළේය. ඉරානයේ ‘මෙහර්’ පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, මෙම උපායමාර්ගික මුහුදු තීරයේදී අදාළ නෞකාව ඉරානය නම් කළ ආරක්ෂිත මාර්ගයෙන් ඉවතට ගමන් කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
කෙසේ වෙතත්, අනතුරට පත් නෞකාවේ අනන්‍යතාවය, සිදුවූ හානියේ ප්‍රමාණය හෝ ජීවිත හානි පිළිබඳව මෙතෙක් කිසිදු නිල තොරතුරක් අනාවරණය වී නොමැත. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය සිදුකළ හැක්කේ ටෙහෙරානය විසින් නම් කරන ලද මාර්ග ඔස්සේ පමණක් බවට ඉරානය පසුගිය ජූනි 26 වනදා දැඩි අනතුරු ඇඟවීමක් කර තිබිණි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින යුදමය උණුසුම මෑත සතිවලදී තවදුරටත් උත්සන්න වී ඇති පසුබිමක් තුළ මෙම අනතුර සිදුව තිබේ. ඇමරිකාව විසින් ඉරානයට එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්, කලාපයේ පිහිටි ඇමරිකානු යුද මධ්‍යස්ථාන සහ උපකරණ ඉලක්ක කර ගනිමින් ඉරානයද මේ වන විට ප්‍රහාර එල්ල කරමින් සිටියි.
මේ අතර, ඉරානය ගිවිසුම් උල්ලංඝනය කරන බවට චෝදනා කරමින්, පසුගිය ජූලි 8 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඉරානය සමඟ පැවති අවබෝධතා ගිවිසුම අවසන් බවයි. හෝමුස් සමුද්‍ර සන්ධියේදී මීට පෙර නෞකා තුනකට ප්‍රහාර එල්ල වීම සහ නාවික නීති සම්බන්ධයෙන් පවතින මතභේද මෙම තීරණයට ප්‍රධාන වශයෙන් හේතු විය.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා බාධාවකින් තොරව නාවික ගමනාගමනය සිදුවිය යුතු බව වොෂින්ටනය දැඩි ලෙස අවධාරණය කරන අතර, ඉරානය පවසන්නේ සිය වෙරළ තීරයට ආසන්න නාවික මාවතක් ඔස්සේ ඉරාන පරිපාලනය යටතේ පමණක් නෞකා ගමන් කළ යුතු බවයි. මෙම නාවික මාවතේ පාලනය සම්බන්ධයෙන් මතුව ඇති උණුසුම් අර්බුදය සමස්ත කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වී තිබේ.














