පසුගිය දිනවල රටපුරා දැඩි කතාබහකට ලක්වූ දෙවිනුවර උත්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ මහා පෙරහරේ හයවන පේලි පෙරහර කාවඩි නර්තන කණ්ඩායම් 33ක සහභාගීත්වයෙන් අද (28) පස්වරුවේ ආරම්භ විය.
පෙරහර ආරම්භයට ප්‍රථම සංවිධානාත්මක අපරාධකරුවන්ගේ හඬපට නිකුත් වීමත් සමඟ ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ, පොලිසිය, විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 1,500කට අධික සංඛ්‍යාවක් සහ ඩ්‍රෝන මෙහෙයුම් යොදවමින් ආරක්ෂාව තර කර ඇත. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකින් පසු කාවඩි නර්තනාංග සඳහා අවසර හිමිවූ අතර, පෙරහරට එක්වූ කණ්ඩායම් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ළඟ තබාගත් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබේ.














