“Clean Sri Lanka” ජාතික වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ජාතික සුපිලිපන් සතිය වෙනුවෙන්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ “වී-ප්‍රමිති” ජාතික වැඩසටහන අද (28) දින දියත් කෙරිණි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන පිටකොටුව පොදු වෙළෙඳපොළ පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය.
එහිදී පිටකොටුව පොදු වෙළෙඳපොළේ පිහිටි වෙළෙඳසැල් වෙත ගොස් වීදි ආහාර, පොල්තෙල්, හකුරු, පැණි, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍ය මෙන්ම සෙල්ලම් බඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ආදී පාරිභෝගික භාණ්ඩවල සාම්පල අහඹු ලෙස ලබා ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරිණි. මෙලෙස ලබාගත් පාරිභෝගික භාණ්ඩවල ප්‍රමිතිය හා අන්තර්ගතය පිළිබඳව ඉදිරියේදී පූර්ණ තත්ත්ව පරීක්ෂාවක් සිදු කිරීමට නියමිතව තිබේ.
මෙරට පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම, උසස් ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පමණක් වෙළෙඳපොළ තුළ සංසරණය වීමට ඉඩ සැලැස්වීම සහ ඒවා සුරක්ෂිතව පාරිභෝගිකයා අතට පත්කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා විශ්වසනීයව හා සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයා දැනුවත් කිරීමත්, නිසි ප්‍රමිතියෙන් යුතු ගුණාත්මක භාණ්ඩ නිෂ්පාදනයට හා අලෙවියට ව්‍යාපාරිකයන් පෙළඹවීමත් අපේක්ෂා කෙරේ.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, කාර්මික තාක්ෂණ ආයතනය සහ ශ්‍රී ලංකා පරමාණු බලශක්ති මණ්ඩලය මෙම වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වය ලබා දෙයි. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික මෙහෙයුම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය, පොල් සංවර්ධන අධිකාරිය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ ශ්‍රී ලංකා පොලීසිය ඇතුළු පාර්ශ්ව ගණනාවක් පූර්ණ සහයෝගය ලබා දෙයි.














