නයිජීරියාවේ මධ්‍යම බෙනූ (Benue) ප්‍රාන්තයේ එෆෙයි (Efeyi) ගම්මානයට එල්ල වූ ප්‍රහාරයකින් අවම වශයෙන් ගම්වාසීන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රදේශයේ බලධාරීන් තහවුරු කරයි. ඉඩම් සහ ස්වාභාවික සම්පත් අයිතිය මුල් කරගනිමින් එම කලාපයේ දිගින් දිගටම සිදුවන ගොවීන් සහ එඬේරුන් අතර ගැටුම්වල තවත් එක් අවස්ථාවක් ලෙස මෙම ප්‍රහාරය වාර්තා වේ.
ඔටුක්පෝ (Otukpo) ප්‍රාදේශීය සභා සභාපති මැක්ස්වෙල් ඔගිරි ප්‍රකාශ කළේ අඟහරුවාදා අලුයම කඩා වැදුණු සන්නද්ධ පිරිසක් කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. මෙම ප්‍රහාරය ෆුලානි (Fulani) සන්නද්ධ කල්ලියක් විසින් සිදු කරන ලද්දක් බවට ඔහු චෝදනා කරන අතර, පසුගිය දිනවලද ආසන්න ගම්මානවල මෙවැනි සිදුවීම් වාර්තා වූ බව පැවසීය. නයිජීරියාවේ උතුරු දෙසින් පැමිණෙන මෙම එඬේරුන් බහුතරයක් මුස්ලිම් භක්තිකයන් වන අතර ප්‍රහාරයට ලක්වූ ගොවීන් බහුතරයක් කතෝලික ප්‍රජාවට අයත් වේ.
කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු කණ්ඩායමක් භාරගෙන නොමැති අතර, අතීතයේදීද එල්ල වූ මෙවැනි චෝදනා ෆුලානි සංවිධාන විසින් ප්‍රතික්ෂේප කර ඇත. බෙනූ ප්‍රාන්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශක උඩේමේ එඩෙට් සඳහන් කළේ ප්‍රහාරය සිදුවූ ප්‍රදේශයට අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














