ලොව පුරා විපරීත කාලගුණ තත්ත්වයන් නිර්මාණය කරන එල් නීනෝ සංසිද්ධිය මෙවර දැඩි අවදානම් ප්‍රතිවිපාක ගෙනදිය හැකි බැවින් ඊට මුහුණදීමට සියලු දෙනා සූදානම් විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා පෙන්වා දෙයි.
පැසිෆික් සාගර කලාපයේ ආරම්භ වී ඇති මෙම එල් නීනෝ සංසිද්ධිය මේ වනවිට දුර්වල මට්ටමක පැවතියත්, ඉදිරියේදී එය ප්‍රබල ලෙස වර්ධනය වීමේ හැකියාවක් පවතින බව පුරෝකථනය කර තිබේ. මේ හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක දැඩි වියළි කාලගුණික තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, ජල මූලාශ්‍ර සිඳී යෑමෙන් වගාබිම් විනාශ වෙමින් පවතින බවට ගොවීන් මැසිවිලි නඟති.
පවතින වියළි කාලගුණය පහව යන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙවර මහ කන්නයේ වී වගාව ඔක්තෝබර් මුල් සතියේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. එල්-නීනෝ තත්ත්වයන් හේතුවෙන් උද්ගත විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මේ වනවිටත් සැලසුම් සකස් කරමින් සිටින බව එහි අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා සඳහන් කර ඇත. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව විසින් ව්‍යවස්ථාපිතව පිහිටුවා ඇති ආපදා කළමනාකරණ අරමුදල තවමත් විධිමත්ව ක්‍රියාත්මක නොවන බව රජයේ මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.














