වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගියදා ත්‍රිකුණාමලය වරායේ සහ චීන වරාය ගුවන්තොටුපළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
චීන වරාය ගුවන්තොටුපළ සංචාරක කටයුතු සඳහා සංවර්ධනය කිරීමට රජය සැලසුම් කර ඇති අතර, අමාත්‍යවරයා එහි පර්යන්තයේ අවශ්‍යතා මෙන්ම ත්‍රිකුණාමලය වරාය සතු සිලෝන් ජැටිය, ඕල්ඩ් (Old) ජැටිය, ටවුන් ජැටිය, 1947 ජැටිය, මන්කෝ ජැටිය සහ මවුතෝ ජැටිය ඇතුළු පැරණි ජැටි හා ගොඩනැගිලිවල භෞතික තත්ත්වය නිරීක්ෂණය කළේය.
වරාය අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී, 2025 වසරේ වරාය රුපියල් මිලියන 1129ක ශුද්ධ ලාභයක් ලබා ඇති බවත්, 2026 වසරේ ගත වූ මාස හය තුළ රුපියල් මිලියන 958ක ලාභයක් ලබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙම චාරිකාව සඳහා නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අරුන් හේමචන්ද්‍ර, ජනිත රුවන් කොඩිතුවක්කු, පාර්ලිමේන්තු මන්ත්‍රී රෙෂාන් අක්මීමන සහ අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස් මංගල යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














